කිඹුල්වත් පුර නුවර ඉපදුණු එබෝසත් ජය මංගලම්
මගුල් කඩුවෙන් කේස ධාතුව කපා අහසට දැමු බෙලෙන්
අගුල් ලාලා තිබුණු වාසල් ඇරපු හැම දෙවියන් විසින්
මගුල් වේවා යුවතිපති හට බෝ කලක් සුබ මංගලම්’’

පෙම්වතුන් වී දින සති ගෙවෙද්දී මංගල නැකත බොහෝ තරුණ තරුණියන්ගේ අහිංසක සිහින අපේක්ෂාවයි. සිය ජීවිතවල තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ එම සුබ නැකතට විවාහ වීමයි. හෙළ පුරාතනයේ සිට පැවත එන සංස්කෘතියට අනුව විවාහය සිදුකිරීමට බොහෝ තරුණ තරුණියෝ මෙන්ම මවුපියවරුද සැමවිටම උත්සාහ කරති. මෙලෙස හෙළ සංස්කෘතියට අනුව සිදුකෙරෙන විවාහ මංගල්‍යයකදී පෝරුව චාරිත්‍ර ඉතා වැදගත් ස්ථානයක් උසුලයි.
සිංහල සංස්කෘතික පරිසරය තුළ කොහේ කොතැන සිංහල ක්‍රමයට විවාහ මංගල්‍යයක් සිදුවුවත් එහි පෝරුව චාරිත්‍රවල මූලිකාංග සමාන වුවද ඒවා භාවිත කරන ආකාරය ලංකාවේ එක් එක් ප්‍රදේශවලදී පුද්ගලානුබද්ධව විවිධාකාර ස්වරූපයක් ගනී. එම චාරිත්‍ර විධි එකම ප්‍රදේශයක දී වුවද එක් එක් අෂ්ටක ශිල්පියාගෙන් ශිල්පියාට පෝරුව චාරිත්‍ර ඉටුකිරීමේදී එහි අනුපිළිවෙළ සේම පෝරුවට ගන්නා කළමනාද විවිධාකාර වෙයි. නමුත් මෙම ලිපිය මංගල්‍යයක අනිවාර්ය පෝරුවේ චාරිත්‍ර පිලිබදවය.
නැකැත් පත්‍රය
මනාලයාගේ පාර්ශවය විසින් මංගල දිනයට ප්‍රථමව මනාලියගේ පාර්ශවය වෙත මංගල දිනයේදී සිදු කරනු ලබන සියලු චාරිත්‍ර ඇතුළත් ලියවිල්ලක් රැගෙන යන ලබයි.එය නැකැත් පත්‍රයයි.
ආරාධනා කිරීම
නැකැත් දීමෙන් විවාහය ගිවිස ගත් පසු උත්සවයට සතියකට දෙකකට පමණ කලින් දෙපාර්ශවයේ අය තම නෑයන්ගේ ගෙවල්වලට ගොස් මඟුල් කෑමට එන ලෙසට වැඩිහිටියෙකු ලවා ආරාධනය කෙරේ. පිත්තල හෙප්පුවක හෝ රිදී බන්දේසියක බුලත් තබා සුදු ලේන්සුවකින් වසා බුලත් දීම, බුලත් හුරුලු දීම, හසුන් පත් යැවීම ආදී වශයෙන් ආරාධනා කිරීම උඩරට හා පහතරට සිරිතය.
මංගල පෝරුව
එහි ඉටු කරන චාරිත්‍ර අතුරින් මංගල පෝරුවට හිමි වන්නෙ සුවිශේෂි ස්ථානයකි.
පෝරුවේ චාරිත්‍ර හා බැදුණු පැරණි මත
පෝරුවේ උපත කවදා කොතැනක දී සිදු වීද යන්නට පැහැදිලි සාක්ෂි නොමැති හෙයින් ඒ පිළිබඳ විවිධ මත පළ වී ඇත. මහ සම්මත රජ දවස සිට පෝරුව පැවත එන බවත් මහ සම්මත රජු සහා මැණික්පාල කුමරිය නොහොත් මුතුකෙලී කුමරියගේ විවාහ මංගල්‍යය සඳහා චන්දගිරි පර්වතයේ වෙසෙන විස්කම් දිව්‍යරාජෝත්තමයන් නරලොවට පැමිණ ප්‍රථම මංගල පෝරුව නිර්මාණය කළ බව සඳහන් වන අතර නෙළුම් පත්මයක ඕපපාතිකව උපන් පත්මාවති කුමරිය බරණැස් රජුට සරණ පාවා දුන් තැන් සිට පෝරුව පැවත එන බවත් පත පොතේ සඳහන් වේ. සිද්ධාර්ථ – යශෝධරා කුමරියගේ විවාහ මංගල්‍යයේ පටන් පෝරුව පැවත එන බවට ද මතයක් පවතී. පෝරුව යුවතිපති දෙපළට සෙත් ශාන්තියක් උදා කරන තැනකි. පොළවට මඳක් ඉහළින් සකස් කරන ලද පුවරුව පෝරුව යන්නෙන් හඳුන්වන අතර මල් ලියකම්වලින් එය අලංකාර කර ඇත.

මංගල පෝරුව චාරිත්‍ර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු රෙදි යාර 3
- සුදු හාල් කිලෝ 1
- ලදපස් මල් පැකට් 1
- පඬුරු 21
- බුලත් අත් 7
- පිරිත් නූල් කැබැල්ලක්
- කෙන්ඩියක් හෝ සංඛයක්
- පැන් වැඩිමට භාජනයක්
- පොල් මල් 4
- පොල් ගෙඩියක්
- මැටි පහන් 4
- පහන් තිර පැකට් 1
- පොල් තෙල් බෝතල් ½
- කැත්තක්

මනාලයා විසින් ගෙන ආ යුතු දෑ
- හඟල හුරැලු සඳහා බුලත්
- කච්චි හේලය (මනාලියගෙ මෑණියන්ට පිදිමට)
- මංගල මුදු
- තැල්ල
- පිළි (දෙවැනි ගමන සඳහා )
පුරාණයේ නම් කිරිබත්, කැවුම්, කෙසෙල්, තැඹිලි ආදිය පෝරුව මත තැන්පත් කරන ලද බව සඳහන් වන අතර වත්කමේ හැටියට රන්, රිදි, මුතු, මැණික්, පස්ලො කාසි ඒ මත ඇතිරූ බවට ද කියැවේ.

පෝරුවේ චාරිත්‍ර
- ප්‍රථමයෙන් සුභ මූර්ති චාරිත්‍රයන් උදෙසා නව ජයම්පතින් පෝරු මස්තකාරූඪ කරනු ලැබේ.
- සතර වරම් දෙවියන් උදෙසා පහන් දැල්වීම
- පෝරුව සිව් කොනෙහි ධෘතරාෂ්ට, විරෑඬ, විරෑපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දිව්‍යරාජෝත්තමයන් උදෙසා පුන් කලස් මත පහන් දැල්වීම.
- ත්‍රිවිධ රත්න නමස්කාරය
ත්‍රිවිධ රත්න නමස්කාරයෙන් සහ සර්වදේව අවසරයෙන් පසුව හෙළ සංස්කෘතික පෞඨත්වය විදහාපාමින් මංගල බෙරසක් හඬ මැද දකුණු පාදය පෙරට තබා නව ජයම්පතින් පෝරු මස්තකාරූඪ කරනු ලැබේ.
- දළු මුර පිදීම
බුලත් හුරැල්ලක් මත පඬුරක් තබා යුවළගේ අතට දී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදයත් ලබා ගනි. බුලත් කොළ 40කින් සමන්විත වේ.
- භූම දිව්‍යරාජෝත්තමයන්ගෙන් අවසර ලබා ගැනීම
බුලත් හුරැල්ලක් යුවළගේ අතට දී දිව්‍ය රාජෝත්තමයන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ ස්ත්‍රෝත ගායනා කිරීමත් සමඟ බුලත් හුරැල්ල පෝරුව මත පතිත කළ යුතු ය.
- තැල්ල හා පිළි ඇන්දවීම
- අත් කවුතුක බැඳීම
යුවළගේ දකුණු අතේ දෙසුළැඟිලි පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබේ.
- පැන් වැඩිම
පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබු යුවළගේ දකුණු අතේ දෙසුළැඟිලි පියාණන් අතින් පැන් වැඩිම සිදු කරයි. තමන්ට අයිති වස්තුවක්අන් අයෙකුට පවරා දීමේ දී මෙසේ පැන් වඩා භාර දුන් බව ඉතිහාසය සාක්ෂි දරයි.
- ජය මංගල ගී ගායන
විවාපත් යුවලට ආශිර්වාද පිණිස නව යොවුන් තරුණියක් (හෝ පිරිසක්) විසින් [[ජයමංගල ගාථාා]] ගායනා කෙරේ.
- හඟල හුරුළු පිදීම
හත්මුතු පරම්පරාවක් සිහිපත් කිරීම උදෙසා බුලත් හුරැළු 7ක් පෝරුව මත පතිත කිරීම කරනු ලැබේ.
- බුලත් හුරැළු ගෙන නව ජයම්පතින්ට සුභ පැතීම
- කිරිකඩ හේලය පිදීම
මේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේ දී පිදීම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්‍රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරිවල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයි ද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද වේ.
- දෑවැද්ද දීම
මනාලියගේ පියා විසින් මනාලයාට තෑගි දෙන ක්‍රමයක් ද තිබේ. කැත්තක්, උදැල්ලක්, රිදී හවඩියක් ද මේ තෑගි අතරට අයත් ය.
- පෝරුවෙන් බැස්සවීම
පුරාණයේ සිට ම පෝරුව සශ්‍රීකත්වය සංකේතවත් වන ලෙස සකස් කළ බව පැහැදිලි ය. ඵසේ හෙයින් ඵම චාරිත්‍ර හෙට දවස වෙනුවෙන් රැක ගැනීම අප සතු යුතුකමකි.

