ගොඩක් අය ආදරය කරලා ඇතිනෙ. ආදරය ලබලත් ඇතිනේ. නිකමටවත් හිතුවාද මොකද්ද ආදරේ කියලා? ඒක කෙනෙක් දිහා බලාගෙන ඉන්න එකද?එයාව පතාගෙන ඉන්න එක ද?එයා වෙනුවෙන් ජීවත් වෙන එක ද?නැතිනම් කෙනෙක්ගෙ ජීවිතේ ඇතුලේ ඔයාගේ ජීවිතය තැන්පත් කරන එකද? මේ හැමදේම අඩු වැඩි විදිහට ආදරය තුළ මිශ්‍ර වෙලා තියෙනවා. ඒ නිසානේ අපි මේකට මෙච්චර ලෝබකමින් ඉන්නේ. ආදරය කිව්වාම ඉතින් මේ ගැහැනු පිරිමි ආදරය විතරක් නෙමේ නේද, ඒ ආදරේ තුළ දෙමව්පිය සෙනෙහස, සහෝදර සෙනෙහස, මිත්‍රත්වය මේ හැමදේම මිශ්‍ර වෙලා තියෙනවා නේ. ඒ ප්‍රමාණයට ගෞරවයත් මුසු වෙලා ද කියල හිතන්න ඕන නේද. ආදරය කරන කෙනාට ගෞරව කරන්න ඕනෙද? සමහර හිතනවා එහෙම නෑ කියලා. ඒත් ගෞරවයකින් තොර ආදරය හරියට වට්ටියක් නැතුව ගේන මල් ටිකක් වගේ

කෙසේ වෙතත් ආදරේ කරන කෙනාව හොඳින් විනිශ්චය නම් කරනවා.මොකක්ද විනිශ්චය කරනවා කියන්නේ?එයාව හැමවෙලාම තරාදියක දාලා හරිද වැරදිද කියලා බලන එකනේ. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ජජ් කරනවා කියලා. ඒක එහෙම නෙවෙයි කියලා ඔයා කියයි.ඒත් හිතලා බලන්න.අපි හැමවිටම කරන්නෙත් ඒකම නේද? ඔයා ආදරේ කරන කෙනාව විනිශ්චය කරද්දි එයාට ආදරය කරන්න වෙලාවක් හොයා ගන්න පුළුවන්ද?
අපි හරි ආසයි විනිශ්චය කරන්න.ඒක දුර්වල මිනිස් ගතියක් නේ.අපි හැමෝටම මේ දුර්වල කම අඩු වැඩි වශයෙන් තියෙනවා. අපේ දුර්වලකම් අඩුපාඩු වැරදි කවුරු හරි පෙන්නන්ද්දී නම් අපි තරම් නීතිඥයෝ නෑ. ඒ වෙලාවට පුදුම තර්ක ඉදිරිපත් කරන්නේ.එහෙම ඉන්න අපි, අපි ආදරේ කරන අයගේ වැරදි අඩුපාඩු ඉදිරියේදී ලෝකේ ඉන්න හොඳම විනිශ්චකරුවන් වෙන්න යනවා. සරලවම කියනවා නම් ඔයාට ඔයාගේ බැඳීම් බාර ගන්න වෙන්නේ ඒ බැඳීම් වල අඩුපාඩු එක්කමයි. එයත් ඔයාව බාරගන්නේ එහෙමනේ.ඔයාට හිතෙන්න පුළුවන් මම එහෙම නෙමෙයි කියලා.ඒ ඔයා හිතන හැටිනේ. ඒත් ඔයාගේ කොච්චර අඩුපාඩු වැරදි තියෙනවද කියලා ඔයා දන්නෑ.තේරෙන්නෙත් නෑ. එහෙම තියෙද්දිත් එයා ඔයාව ඇසුරු කරනවා. ඔයාට ආදරේ කරනවා. එයා ඔයාව එයාගේ හිතේ තියාගෙන ඉන්නවා.බැදීම් කියන්නේ ඒකට කියලා එයා හිතනවා. ඇයි එහෙනම් ඔයාට ඒකම හිතන්න බැරි

අපි එයාව විනිශ්චය කරගෙන කරගෙන ගියොත් වෙන්නේ එයත් ඒකම කරන්න පටන් ගන්න එකයි. මෙහෙමයි ඕක බෝවෙන රෝගයක්. එහෙම උනාම ඉතිං දෙන්න දෙන්නම විනිශ්චය කරන්න යනවා. අන්තිමට එතන හොඳ මනුස්සයෝ දෙන්නෙක් නෑ. ඉන්නේ එකිනෙකාව සැකෙන් තරහින් විනිශ්චය කරන විනිශ්චකරුවන් දෙන්නෙක් විතරයි. අවසානය හරිම ඛේදජනකයි.
ඒ නිසා ආදරය තුළ දී එකිනෙකා ගේ වැරදි අඩුපාඩුවක් ඉවසීමේ ගුණයක් වගා කරන්න. ඒක අමාරුයි. නමුත් ඒක කරන්න වෙනවා. ඉවසීම කියන්නේ බෝසත් ගුණයක් නේ. ආදරේ කියන්නේ කුහක හිත් වලට උරුම දෙයක් නෙවෙයි.එකිනෙකාගේ වැරදි ඉවසන,ඒවාට සමාව දෙන, එකිනෙකාගේ දුර්වලකම් ඉවසීමෙන් තේරුම් අරගෙන උපේක්ෂාවෙන් ඒ දෙස බලන අයට උරුම දෙයක්. එහෙම අය ලද ජීවත්වීම ප්‍රියයි.එහෙම අය ළඟ රැඳීම ප්‍රිය යි.එහෙම අයට ආදරය කිරීම ඉතා ප්‍රියයි. ඒකයි සත්‍ය. ඔයා එහෙම කෙනෙක් නම් ඔයාට ආදරය කරන්න ගොඩක් අය ඉදි. මොකද ඒ වගේ කෙනෙක්ට ආදරේ කරද්දි හරිම නිදහසක් දැනෙනවා. පුදුම සැනසීමක් දැනෙනවා.කෙනෙක් බලන්නේ වැඩි වෙලාවක් ඔයාගේ සෙවනේ රැදෙන්න. ඒක තමයි අපේක්ෂාව. හොඳ කෙනෙක් වෙන්න බලන්න. ඔයා කාවත් විනිශ්චය කරන්න යන්න එපා.එයාගේ ජීවිතේ දෙස උපේක්ෂාවෙන් බලන්න. පාට කන්නාඩි අයින් කරලා පිරිසිදු පැහැදිලි වීදුරු ඇස් වලින් ආදරේ කරන කෙනා දෙස බලන්න.

