කරපිංචා ඉතාමත් ගුණදායක මෙන්ම ශ්‍රී ලංකාවේ අපට නැතුවම බැරි ශාකයකි. ආහාර රස ගැන්වීම සඳහා නැතුවම බැරි කරපිංචා තුළ විටමින් ඒ, විටමින් බී, විටමින් සී, පොටෑසියම් හා කැල්සියම් අඩංගු වේ. මේ නිසා කරපිංචා වලින් මිනිස් ශරීරයට ලැබෙන ප්‍රයෝජන බොහොමයක් පවතිනවා. කරපිංචා මිනිස් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වන අතර ආහාර තීරණය වේගවත් කරයි. එහි ඇති විටමින් ඒ හා විටමින් සී මගින් නිපදවන ප්‍රතිඔක්සිකාරක අක්මාවේ ක්‍රියාකාරිත්වයට උපකාරී වේ. එමෙන්ම හිසකෙස් වර්ධනයට,ඇස් පෙනීම වැඩි කිරීමට, ශරීරයේ ස්ථුලතාව අඩු කිරීමට, රුධිර සංසරණය නිසි ආකාරව සිදු වීමට, විසබීජ නාසනයට,ආදී බොහෝ මිනිස් ශරීර කාර්යයන් සඳහා ඉතාමත් වටිනා ඔසුවක් ලෙස කරපිංචා හැඳින්විය හැකියි.

ඉතා ඉක්මනින් , ඝනකම් හා නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීම සඳහා කරපිංචා උපකාරී කර ගනිමින් හෙයාර් ඔයිල් එකක් හදන විදිය මෙම ලිපිය හරහා ඔබට කියාදෙනවා
කරපිංචා තෙල්
අවශ්‍ය ද්‍රව්‍ය :
- සුදු පොල්තෙල් භාගයක්
- කරපිංචා කොළ මිටක්
- කොහොඹ පොඩි ඉතිං තුනක් හතරක්
- පොඩියට කැපූ බුලත් කොළ දෙකක් පමණ
- සැවැන්දරා මුලක්
- ඔලිව් ඔයිල් මේස හැන්දක්
- ආමන්ඩ් ඔයිල් මේස හැන්දක්
- උළුහාල් ස්වල්පයක්

සාදන ආකාරය:
- පළමුව ඇලුමිනියම් භාජනයක් ලිප තබා එයට සුදුපොල් තෙල් භාගය එකතු කරන්න. තෙල් ලාවට රත් වී ගෙන එන විට කරපිංචා මිටත්, කොහොඹ ඉති ටිකත්, පොඩියට කැපූ බුලත් කොළ ටිකත් එකතු කරන්න. කොල ටික කර වී ගෙන එන විට උළුහාල් හා සැවැන්දරා මුල් එයට එකතු කරන්න. තෙල් ටික උතුරාගෙන එන විට ලිප ඕෆ් කර එයට ඔලිව් ඔයිල් හා ආමන්ඩ් ඔයිල් එකතු කරන්න. පසුව මිශ්‍රණය නිවෙන්නට හරින්න.
- ඔයිල් එක හොඳටම නිවුණු පසු කොළ ටික ඉවත් කර සැවැන්දරා මුල් හා උළුහාල් සමඟ වතුර රහිත පිරිසිදු බෝතලයකට තෙල් ටික දමා ගන්න.
භාවිතා කරන ආකාරය:
තෙල් ස්වල්පයක් ගෙන හිසට දමා ඇඟිලි තුඩුවලින් විනාඩි 15ක් පමණ හොඳින් මසාජ් කරන්න.
ඉන් පැය 2කට පමණ පසුව ඔබ භාවිතා කරන ෂැම්පූ හා කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කර හොදින් හිසකෙස් සෝදා හරින්න.
තෙල් ස්වල්පයක් මේස හැන්දකට ගෙන රත් කරන්න.මද රස්නය පවතින විට හිස් කබලට දමා හොඳින් මසාජ් කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගත හැක.
මෙම කරපිංචා ඔයිල් එක සතියකට තුන්වරක් නෑමට පෙර භාවිතා කරන්න.
ලැබෙන ප්‍රයෝජන:
- හිසකෙස් ඉක්මනින් වර්ධනය වීම
- හිස කෙස් ඝනකම් වී නිරෝගී වීම
- උළුහාල් එකතු කළ නිසා මෙම ඔයිල් එක හිස්හොරි වදේටත් හොද විසදුමක්.
- කොහොඹ කොළ නිසා උකුණන් වද වේ.
- හිස් කබලේ වියළි ගතිය නැති කර නිරෝගීි කෙස් කළඹක් ඔබට හිමිවේ.

